පොසොන් ‍පොහොය අදයි


 

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය අදට (21) යෙදී තිබේ.

පොසොන් පෝය නිමිත්තෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසකම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් අද පැවැත්වෙන අතර ඊට බැතිමතුන් දස දහස් සංඛ්‍යාවක් සහභාගි වෙමින් සිටින බව වාර්තාවේ.

අනුරාධපුරය සහ මිහින්තලේ පූජාභූමිවලට දිවයිනේ නන්දෙසින් දස දහස් සංඛ්‍යාත පිරිසක් ඊයේ 20 වැනිදා පෙරවරුවේ සිටම පැමිණෙමින් සිටියහ.

බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබූ අතර පූජා භූමිය ආසන්නේ දන්සල් රැසක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණ.

පොළොන්නරුව තන්තිරිමලය කැලණි රාජමහා විහාරය මාතලේ අළු විහාරය ඇතුළු දිවයිනේ ප්‍රධාන වෙහෙර විහාරස්ථාන රැසකම අද දිනයේ දවස පුරා ආගමික වතාවත් හා විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර දිවයින පුරා දන්සල් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ද විවිධ ප්‍රදේශවලින් වාර්තාවේ.

බත් ඔසු පැන් තේ පැන් සහ විවිධ ආහාර වර්ග එම දන්සල්වලින් පිරිනමන අතර දිවයින පුරා පවත්වන දන්සල් විසි දහසකට අධික සංඛ්‍යාවක් ඊයේ (20 ) පස්වරුව වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතේ ලියාපදිංචි කර තිබිණ.

මේ අතර දිවයිනේ ප්‍රධාන නගර රැසකම පොසොන් තොරණ ප්‍රදර්ශනය කෙරෙන අතර පහන් කූඩු සංදර්ශන භක්ති ගීත වැඩසටහන් සහ මිහිඳු මහ පෙරහර ආදී විවිධ වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිබෙන අතර ඊට බොහෝ පිරිසක් සහභාගී වී සිටිති.

කොළඹ සහ තදාසන්න නගරවල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක්ම ඊයේ දිනයේදීම දන්සල් පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.