පොලිස් ගබඩාවෙන් උණ්ඩ 1421 උස්සලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාන්කුලම් පොලිස් ස්ථානයේ අවි ගබඩාවේ තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 1421 තොගයක් අතුරුදහන් වී ඇතැයි මාන්කුලම් පොලිසිය පවසයි.

පොලිස් අවි ගබඩාව භාරව සිටින පොලිස් සැරයන්වරයා  මේ බව පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පොලිස් ස්ථානය සහ පොලිස් ස්ථානය පිහිටි භූමිය පූර්ණ සෝදිසියකට ලක් කර ඇතත් මෙම  උණ්ඩ තොගය සොයා ගැනීමට නොහැකි වූ බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම උන්ඩ තොගය අතුරුදහන් වූ ආකාරය ගැන තවම කිසිදු තොරතුරක් හෙළිවී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

පොලිසියේ රාජකාරි කරන නිලධාරියකු විසින් මේවා සොරා ගෙන යන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.