
(චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර)
දේවාලේගම ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරුවන් අට දෙනකුගේ ගෙලබැදි රන් පංචායුධ 8 ක් හා රන් කරාබු ජෝඩුවක් ගලවාගෙන ඇතැයි කියන අදාල පෙර පාසලේ පාලිකාවන් දෙදෙනකු අප්‍රේල් 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දේවාලේගම ප්‍රදේශයේ පෙර පාසලක සේවය කරන පාලිකාවන් දෙදෙනෙකි
දේවාලේගම ප්‍රදේශයේ පෙර පාසලක දරුවන්ගේ ගෙලබැදි පංචායුධ කිහිපයක් ඉකුත් කාලය තුළදී අතුරුදන්ව ඇති බවත් පංචායුධ පෙර පාසල් භූමියේ වැටී ඇද්දැයි පරීක්ෂා කර බලන ලෙසත් දරුවන්ගේ මව්පියන් පිරිසක් පෙර පාසලේ ප්‍රධාන පාලිකාවට දන්වා ඇත.
පංචායුධ සම්බන්ධයෙන් තොරතුරක් නොමැති අවස්ථාවේ දී පෙර පාසලේ ප්‍රධාන පාලිකාව සිද්ධිය සම්බන්ධයෙන් දේවාලේගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ලට අනුව දේවාලේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්ෂක සෙව්වන්දි ඇතුළු කණ්ඩායමක් අදාල පෙර පාසලට ගොස් ප්‍රධාන පාලිකාව ඇතුළු සෙසු පාලිකාවන් පස් දෙනා ගෙන් ද දරුවන් ගෙන් ද ඒ සම්බන්ධයෙන් විමසීමක් ද කර තිබේ.
එහිදී දරුවන් පොලිසියට කියා ඇත්තේ කතුරුවලින් ගෙලබැදි පංචායුධ ගුරු මහත්මියන් දෙදෙනකු කපා ගත් බවත් කරාබු ජෝඩුව ද ගලවා ගත් බවත් පවසා ඇති බව පොලිසිය පැවසීය.
පසුව පොලිසිය පෙර පාසල් පාලිකාවන් දෙදෙනා හදුනාගෙන ඔවුන් ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත පංචායුධ කපා ගත් බවත් ඒවා උකස් මධ්‍යස්ථාන වෙත උකස් කර මුදල් ලබා ගත් බවත් පවසා තිබේ.
පසුව පොලිසිය අදාල උකස් මධ්‍යස්ථාන වෙත ගොස් පංචායුධ හා කරාබු ජෝඩුව පොලිස් භාරයට ගෙන තිබේ.

