පුවත්පත් කතුවරයාගේ පෙත්සම ගැන කරුණු දක්වන්න නීතිපතිට නොතිසී


(තිළිණි ද සිල්වා)

මරණ දඬුවම් ක්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කතුවරයකු ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වන්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (28) නීතිපතිට නොතීසි නිකුත් කළේය.

ඒ අනුව අද දවල් 2.30ට නීතිපතිට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ද අභියාචනාධිකරණය නියම කළේය.

අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

ද නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ මාලින්ද සෙනවිරත්න මහතා ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා, අළුගෝසුවා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

මාලින්ද සෙනවිරත්න මහතා සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 26 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන යොදමින් සිරකරුවන් හතර දෙනෙකු එල්ලා මැරීමට තීන්දු කළ බව දැනගන්නට ලැබුණ බවයි. එය ඉක්මණින් ක්‍රියාත්මක වන බවත්, මේ වනවිට ඊට දින තීන්දු වී ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වූ බවයි.

ජනාධිපති තීරණය තමන් අභියෝගයකට ලක් නොකරන බවත්, පුද්ගලයින් එල්ලා මැරීම වනචාරී ක්‍රියාවක් සේම, අත්සන් යෙදීම නිසා බන්ධනාගාර නිලධාරීන් විසින් ඉක්මන් කරනු ඇතැයි ද පෙත්සම්කරු කියා සිටී. එල්ලා මරණ දවස තමා නොදන්නා නමුත් එම එල්ලා මැරීම් මේ සති අන්තයේ දී සිදුවිය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

එහෙයින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා හා අලුගෝසුවා විසින් පුද්ගලයින් එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලා සිටී.

පෙත්සම්කරු වෙනුවෙන් විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සමාගම උපදෙස් මත නිරාන් ඇන්කිටෙල් සහ හෆීල් ෆාරීස් යන නීතීඥවරු පෙනී සිටියහ.