පුත්තලමේ ලුණු වැස්සට දිය වෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳ පොළෙන් සියයට 45 කට වැඩි අස්වැන්නක් හිමිව තිබු පුත්තලමේ ලුණු නිෂ්පාදනය දිගින් දිගටම පවතින වර්ෂා තත්වය හේතුවෙන් අහිමි වෙමින් යන බව එම කර්මාන්තයේ නිරතවූවෝ දැඩි කනස්සල්ලෙන් පවසති.

පුත්තලමේ ලුණු නිෂ්පාදනයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකී.සියවස් ගණනාවක අතීතයට හිමිකම් ඇති පුත්තලමේ ලුණු කර්මාන්තය තරම් තවත් කර්මාන්තයක් ගැන පුත්තලමින් නෑසෙන තරම්ය.

පුත්තලමේ පොල් හා කල්පිටියේ කරවල වලින් නම් දරා සිටියද ලුණුවලට බැදි ඇතී අතිතය සුවිශේෂී වෙයි. ඒ තරමට පුත්තලම ගැන කියවෙන තවත් නිෂ්පාදනයක් නැති තරම්ය.

එතරම් සුවිශේෂ වටිනාකමක් ලබා දී තිබු පුත්තලමේ ලුණු නිෂ්පාදනය මෑතක් වන තුරුම රටේ සමස්ත නිෂ්පාදන දායකත්වයෙන් සියයට 45 කට වැඩි දායකත්වයක් දක්වා තිබිණි. 

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම,කල්පිටිය, වනාතවිල්ලුව,මුන්දලම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලට අයත් ප්‍රදේශ රැසක කලපු තිරයන්ට සමීපව හෙක්ටයාර් 4000 පමණ භුමි ප්‍රමාණයක ලුණු කර්මාන්යේ 2000 කට අධික පිරිසක් නිරතව සිටිති.

ඒ සමගම මෙම කර්මාන්තයෙන් සෘජු හා වක්‍ර රැකියාවේ නිරත පවුල් සංඛ්‍යාව 20000 ඉක්මවති.

ශ්‍රී ලංකාවේ ලුණු පාරිභෝජන අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසකි.

එයින් මෙට්ට්‍රික් ටොන් හතළිස් හය දහසක නිෂ්පාදනයක් පසුගිය වසර වලදි පුත්තලම දිස්ත්‍රික්කයෙන් ලැබි ඇති බව පුත්තලම ලුණු සමාගමේ තොරතුරු වලින් සනාථ වෙයි.

කෙසේ වෙතත් මෙම තත්වය 2023 වසරින් පසු සියයට හතළිකටත් වඩා අඩු ප්‍රමාණයක් වාර්තා වන බව කර්මාන්ත කරුවෝ පවසති.