(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාල නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේය.
පරණ නාම යෝජනා අහෝසි කිරීමෙන්, 2022 වසරෙන් පසු අලුතින් එක්වූ ඡන්ද දායකයන් ලක්ෂ දහයකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
එම නීති සංශෝධන නීතිපති දෙපාර්තමේන්තුවට පළමුවෙන්ම යොමු කිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා වලංගු කිරීමට අදාල නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එම කටයුතු සිදු කරයි.
පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඊට අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ.
මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති.පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක් ද සිටිති. කෙසේ වෙතත් නාම යෝජනා දුන් මෙම පිරිසෙන් අටදහසක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.