පී සී ආර් කරන්නැයි බෝගම්බර රැඳවියන් පිරිසක් විරෝධතාවක්


( චමිල් රූපසිංහ)
 
බෝගම්බර බන්ධානාගාරයේ රැදවියන් පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමත් සමඟ තම ජීවිත අවදානම් මට්ටමකට පත්ව ඇතැයි කියමින් එහි රඳවා සිටින 100 කට ආසන්න රැඳවියන් පිරිසක්  වහලය මතට නැගී අද (12) පෙරවරුවේ විරෝධතාව නිරත වූහ.
 
විරෝධතාවයේ යෙදෙන රැදවියන් පවසන්නේ බෝගම්බර පැරණි බන්ධනාගාරය වෙත තාවකාලිකව යොමුකර සිටින බන්ධනාගාර රැඳවූවන් තිහකට අධික පිරිසකට  කෝවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවයි.
 
විවිධ චෝදනා සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ අටසීයකට ආසන්න පිරිසක් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින අතර රැඳවූවන් තිස් ගණනකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබුණත් තමන් අතරින් බහුතරයකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර නොමැති බවත් එම පරීක්ෂණ කඩිනමින් කළ නොහැකි නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස විරෝධාවට එක්ව සිටි රැඳවූවෝ පවසයි.
 
මේ සම්බන්දව අදහස් දැක්වු  මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේ වෙන් වෙන් ලෙස රඳවා සිටි මෙම රැඳවියන් මේ ආකාරයට එක්විමෙන් කොරෝනා රෝගය තවදුරටත් පැතිර යාමේ අවධානමක් උද්ගත වන බවත් මෙම තත්ත්වය පැහැදිලි කොට රැඳවූවන් බිමට බස්සවා ඔවුන් සියලු දෙනාට පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවද ඒ මහතා කීය.