පිස්සු පූසා කොමිසමේ නිර්දේශ දූෂිතයන්ට අනුබල දීමක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධිකරණ ක්ෂේත්‍රයේ අය පිස්සු පූසා කොමිසම ලෙස  හඳුන්වන දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශන  කොමිෂන් සභාවේ  නිර්දේශ  මගින්   වංචනිකයන්ට දූෂිතයන්ට ලොකු  ආධාර අනුබල දීමක් කර ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) චෝදනා කළේය.

ඔහු මෙසේ චෝදනා කළේ ස්ථාවර නියෝග 27 (2)  යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

අනුර දිසානායක මහතා එම ප්‍රශ්නය යොමු කරමින්  මෙසේද සඳහන් කළේය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම වෙනුවෙන් යැයි ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මතභේදාත්මක නිර්දේශ පිළිබඳව සමාජය හමුවේ ඇති ගැටලුකාරී තත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් 2020 ජනවාරි 09 වැනි දින අංක 2157/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරනු ලැබ තිබුණා. එසේම එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2020 දෙසැම්බර් 08 වැනි දින හිටපු ජනාධිපතිවරයා වෙත බාර දී තිබුණා.

මෙම කොමිෂන් සභාවට පවරන ලද විෂයපථය සහ එම කොමිසම විසින් අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය සාධාරණ නොවන බවටත් එම කොමිෂම තමන්ගේ බලතල ඉක්මවා ක්‍රියාත්මක වී ඇති බවටත් සමාජය තුළ බලවත් කතිකාවක් ඇති වුණා. විශේෂයෙන් එම කොමිෂන් සභා  වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන්ද බරපතළ ගැටලුකාරී තත්වයක් උද්ගත වී තිබුණා.

නිදසුනක් ලෙස ඇතැම් පැමිණිලිවලට අදාළව එමගින් නිර්දේශ කර තිබුණේ ඊට අදාළව අධිකරණය හමුවේ පවරා ඇති සහ විභාග වන නඩුකර ඉවත් කර ගැනීමටයි. එසේම තවත් පැමිණිලිවලට අදාළව නීතිය ක්‍රියාත්මක වූවන්ට වන්දි ලබා දීමටත් එයින් යෝජනා කළා. තවත් නිර්දේශයක් මගින් වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඉදිරිපත් කළ අයට දඬුවම් ලබා දීමටද යෝජනා කර තිබුණා. මෙම තත්වය තුළ මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සහ එහි නිර්දේශ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්නත් ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්ද යන්නත් මේ සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

සභානායක සුසිල් ප්‍රේම ජයන්ත මහතා:

එම කොමිෂන් සභාව සක්‍රීය නොමැති නිසා මේ ප්‍රශ්නය පැන නගින්නේ නෑ.