කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනයට පනවා තිබෙන නියෝග නොතකා කටයුතු කරන පිරිස්වලට වෙඩි තබන්නැයි පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාර්ටේ එරට ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. එම ප්‍රදේශවල කලබල ඇති කරන ඕනෑම අයකුට වෙඩි තබන්නැයි පිලිපීන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
‘‘සම්පූර්ණයෙන් වසා දමා තිබෙන පැතිවල කරදර කරන කලබල කරන ඕනෑම අයකුට වෙඩි තබන්නැයි මම පොලිසියට, හමුදාවට සහ ගම්මානවල ප්‍රධානීන්ට නියෝග කරනවා. මැරෙන්ම වෙඩි තියන්න. කරදර කරන කලබල කරන ඕනෑම කෙනෙක් මං වළට යවනවා’’ යැයි පිලිපීන ජනාධිපතිවරයා කීය.
පිලිපීනයේ සමස්ත ජනගහනය මිලියන 110කි. එයින් අඩකට වඩා වැඩි පිරිසක් ‘ලොක්ඩවුන්’ නියෝගවලට යටත්ව සිටින අතර තවත් මිලියන ගණනක් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇත. රට වසා දැමීමේ නියෝග යනාදී දැඩි නියෝග හේතුවෙන් දස දහස් ගණනකට රැකියා අහිමි වී තිබේ. පිලිපීන ජනගහනයෙන් මිලියන ගණනක් දැඩි දුප්පත්කමෙන් පෙළෙති.
දුප්පත් ජනතාවට ප්‍රමාණවත් පරිදි ආහා ඇතුළු ද්‍රව්‍ය නොලැබෙන බවට ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. එසේ උද්ඝෝෂණය කළ මැනිලා නුවර මුඩුක්කු ප්‍රදේශයක 12 දෙනකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබිණි.
අද (2) පස්වරු 4 වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් පිලිපීනයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,663ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 107ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ඒ.එෆ්.පී.
055

