
සිය පියාගේ ඝාතකයන්ට සමාව දුන් බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ පුඩුචෙරිහිදී පැවැසීය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් එල්ල කරන ලද ප්‍රහාරයකින් රාහුල් ගාන්ධිගේ පියා වන ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා මරණයට පත්විය.
‘‘මට මහත් වේදනාවක් දැනුණා. ඒත් දැන් මට කේන්තියක් නැහැ. මට කවුරුවත් ගැන තරහක් නැහැ. ඔව්, මට මගේ තාත්තා නැතිවුණා. ඒක දුෂ්කර කාලයක්. ඒක නිසා කවුරුහරි ඔයාගේ හදවත කපලා ගත්තා වගේ. මට කියාගන්න බැරි දුකක් ඇතිවුණා. ඒත් මට කේන්තියක් නැහැ. මං කාටවත් වෛර කරන්නේ නැහැ. මම සමාවදෙනවා’’ යැයි රාහුල් ගාන්ධි කීය.
ඉන්දියාවේ පුඩුචෙරි හි පිහිටි කාන්තාවන් සඳහා වන භාරතීදාසන් රජයේ විද්‍යාලයේ දී හෙතෙම ඒ බව පැවැසීය.
ඔහු පැයකට ආසන්න කාලයක් සිසුන් සමඟ කාලය ගත කළ බව ද ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.
සිය පියා ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් සම්බන්ධයෙන් ඇත්තේ කුමන ආකාරයේ හැඟීමක්දැයි සිසුන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාහුල් ගාන්ධි මහතා එම කරුණු පැවැසීය.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා දඬුවම් ලබන සිරකරුවන් හත්දෙනා නිදහස් කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වන මොහොතක රාහුල් ගාන්ධි මහතා මෙම අදහස් පළ කළේය.
දේශපාලනය හේතුවෙන් සිය පියා සහ මිත්තණිය මෙන්ම එරට හිටපු අග්‍රාමාත්‍යවරිය වන ඉන්දිරා ගාන්ධි අහිමි වී තිබියදී දේශපාලනයට පිවිසියේ ඇයිද යන ප්‍රශ්නය ද මෙහිදි යොමු වූ අතර ඊට පිළිතුරු දුන් රාහුල් ගාන්ධි මහතා මෙසේ ද කීය.
‘‘මේක තේරුම්ගන්න. ප්‍රචණ්ඩත්වයට ඔබෙන් කිසිදෙයක් උදුරගන්න බැහැ. ප්‍රචණ්ඩත්වයට ඒ බලය නැහැ. ඔබට ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඒත් ප්‍රචණ්ඩත්වයට ඔබෙන් කිසිදෙයක් උදුරගන්න බැහැ. අද ඔබ ගොඩක් දේවලට ඇහුම්කන් දුන්නා. ඒ සියල්ල මට ලැබුණේ මගේ තාත්තගෙන්. මගේ තාත්තා මා හරහා කතා කරනවා. ඒක නිසා අද මගේ තාත්තා මෙතැන කියන දේ හිතන්න අවශ්‍ය නැහැ’’.
(ද හින්දු ඇසුරිනි)
055

