පැන්ෂන් එක හදා ගන්න ගිය වැන්දඹුව වසර හයක් රස්තියාදුවේ


(කාංචන කුමාර ආරියදාස)

සමෘද්ධි සංවර්ධන නිලධාරි සැමියා මියගොස් වසර හයක්  ගත වී ඇතත් ඔහුගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා වසර හයක් තිස්තේ රජයේ නිලධාරීන් පසුපස යන තිදරු මවක් පිළිබඳ තොරතුරු ගලේවෙල බෙලිගමුව ඔය දෙක කැලේ ගම්මානයෙන් වාර්තා වෙයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගලේවෙල ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී හදිසියේ රෝගී තත්ත්වයක් නිසා ලයනල් සෝමතිලක නමැති තිදරු පියා 2015 ඔක්තෝබර් 15 වැනි දා මිය ගියේය.

මියගිය ලයනල් සෝමතිලකගේ බිරිය සැමියාගේ විශ්‍රාම වැටුප හදා ගැනීම සඳහා එදා සිට අද දක්වා හය වසරක් තිස්සේ ජනාධිපතිවරයාගේ සිට පහළම නිලධාරියා දක්වා සැමියගේ විශ්‍රාම වැටුප හදා දෙන්නැයි ඉල්ලීම් කළ ද මෙතෙක් එය ලැබී නැතැයි ඇය කියන්නීය.

දියණියන් තිදෙනකුගේ මවක වන ඇය ලී මෝලක දැව කොට කර ගසා සොයා ගන්නා සොච්චම් මුදලින් දරුවන් ජීවත් කරවන්නීය.

මේ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන අධ්‍යක්ෂ  ජනරාල් බන්දුල තිලකසිරි මහතා  සම්බන්ධ කර ගැනීම් සඳහා උත්සාහ කළ අවස්ථාවේ දුරකථනය ‍ ලබාගන්නා  නිලධාරියා පැවැසූ පරිදි විවිධ වේලාවන්වලදී ඔහු සම්බන්ධ කර ගැනීමට  උත්නොසාහ කළද එය ව්‍යාර්ථ විය.