පැනගිය වටරැක රැඳවියෝ 32 ක් භාරවෙති


(යොහාන් භාසුර)

කොළඹ ප්‍රදේශයේ පසුගිය 9 වැනිදා ඇති වු නොසන්සුන්කාරී අවස්ථාවේදී අත්අඩංගුවෙන් මිදි පලාගිය වටරැක බන්ධනාගාරයේ සිරකරුවන් 58 දෙනාගෙන් රැඳවියන් 32 ක් එම බන්ධනාගාරය වෙත නැවත භාරවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා අද (13) පැවසීය.

එහිදී පලාගිය තවත් සිරකරුවන් 26 ක් තව දුරටත් අතුරුදහන්ව සිටින බවත් කොළඹ වැඩබිම්වල සේවයට පැමිණ සිටි සිරකරුවන් 181 දෙනෙකු නැවත වටරැක බන්ධනාගාරය වෙත රැගෙන යාමේදී තලංගම ප්‍රදේශයේදී කලහාකාරී පිරිසක් බස් රථ නවත්වා සිරකරුවන්ට, නිලධාරින්ට සහ බස් රථවලටත් පහර දී ඇති බවත් ඒකනායක මහතා කීය.

එහිදී නිත්‍යානුකුල අත්අඩංගුවෙන් මිදී පලා ගොස් මේ වන තෙක් භාරනොවූ සිරකරුවන් හැකි ඉක්මණින් වටරැක බන්ධනාගාරයට පැමිණ හෝ ලඟම ඇති බන්ධනාගාර වෙත හෝ ලඟම ඇති පොලිස්ථානය වෙත හෝ 0114677177 හෝ 0114677517  දුරකථන ඇමතුමක් ලබාදීමෙන් භාර විය හැකි බවත් ඉහළ ස්ථානවලට පැමිණීමේ අපහසුතාවයක් ඇත්නම් එම දුරකථන අංකවලට අමතා දැනුවත් කිරීමෙන් ඔවුන් සිටින ස්ථානයට පැමිණ භාරගැනීමට හැකි බවත් ඒකනායක මහතා සදහන් කළේය.