පාස්පෝට් ගන්න කැබිනට් අනුමැතිය ඉලන්න යයි


(නාමිණි විජේදාස)

විදේශ ගමන් බලපත්‍ර දෛනික නිකුත් කිරීමේ අනුපාතය අනුව දැනට මෙරට සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍ර 750,000 ක තොගය ලබන වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේදී අවසන් වීමට නියමිත බවත් ඉන්පසුව විදේශ ගමන් බලපත්‍ර තොග ලබාගැනීමට සුදුසුම ක්‍රමය යෝජනා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් පැවැසෙයි.

විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය “සැබෑ පටලැවිල්ලක්” වී ඇති අතර එමඟින් නව ටෙන්ඩරයක් කැඳවීම පවා ගැටලු සහගත වී ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පිළිගෙන ඇත.

විද්‍යුත් චිපය සහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ප්‍රමාණය ලබාගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරයේ ප්‍රතිඵලය මේ වනවිට අභියාචනාධිකරණයේ අභියෝගයට ලක්ව ඇති බැවින් එම සැපයුම්කරුගෙන්ම තවත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද යන්න ගැටලු සහගත යැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ගැටලුව සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාවට රැස්වීම් කිහිපයක් පැවැත්වුණු බවත් ඇතැම් රැස්වීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසුවේය. මෙම ගැටලුව අවධානය යොමුවිය යුතු සහ හදිසි කාරණයක් ලෙස රජය සලකන බවද ඇමැතිවරයා කීය.