පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ තවත් දෙදෙනක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

පාස්කු ප‍්‍රහාරයේ  කොච්චිකඩේ දේවස්ථානයට හා   සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට   මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර  එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනාට  සහයදුන්  සැකකරුවන් දෙදෙනකු මට්ටක්කුලියේ දී හා  ගොතටුවේ දී  අද (2) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි    ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටිය සැකකරුවන්ගෙන් හා  විමර්ශන වලදී හෙළි වු තොරතුරු  මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
ගොතටුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සිනමන් ග‍්‍රෑන්ඞ්  හෝටලයේ බෝම්බකරුට   සහය ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මට්ටක්කුලියේ  සැකකරු   කොච්චිකඬේ  පල්ලියේ  පුපුරවා ගත් බෝම්බකරුට සහය දක්වා ඇති බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
මොවුන් දෙදෙනා  සිද්ධිය වු දින එම බෝම්බකරුවන් දෙදෙනාට   බෝම්බ ප‍්‍රවාහනයට  සහ  බොම්බ රැගෙන ඒමට ඇතුලූ   කටයුතු රැසකට සහය දක්වා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා කීය.
 
මෙම සැකකරුවන් දෙදෙනාගෙන්    ප‍්‍රශ්න කිරීමේ දි දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන්  තොරතුරු හෙළි නොවු සැකකරුවන් රැසකගේ තොරතුරු හෙළි වී ඇති  බවත්   ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඉදිරියේ ඔවුන් ද අත්අඩංගුවට ගන්නා බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
මඩකලපුව සියෝන් දේවස්ථානයේ  බෝම්බකරුට ආධාර අනුබල දුන්  තවත් සැකකරුවකු දෙහිවලදී මීට දින කිහිපයකටය  පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.