පාස්කු ප්‍රහාරය ගැන නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහගෙන් පැය 4 ක් ප්‍රශ්න කෙරේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප්‍රහාර එල්ලවීම යම්තාක් දුරට අඩු කර ගැනීම සඳහා කටයුතු නොකළ බව චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් නව දෙනාට එරෙහිව විනය පියවර ගැනීම සඳහා විමර්ශනවලට අදාලව අද (10) බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා විශේෂ විමර්ශන ඒකකයට කැඳවා  පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය කියයි.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව අනුව හිටපු පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කළ අතර පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු විනය චෝදනා එල්ල වීමෙන් ස්ථාන මාරුවීම් සිදු කෙරිණි.

ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව නීතිපති වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබා දුන් උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ දැනුම් දීමක් අනුව වසන්ත වික්‍රමසිංහ මහතා අද (10)  පෙරවරු 10.00 ට පමණ එම ඒකකය හමුවේ පෙනී සිට පස්වරු 1.30 දක්වා ප්‍රකාශ ලබා දී තිබිණි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූ දින බස්නාහිර පළාත උතුර කොට්ඨාසට භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු ලබා සිටි හෙයින් ඒ වෙනුවට වැඩ බැලීම සිදු කර ඇත්තේ බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඒ හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා විමර්ශනවලට අදාලව කැඳවා තිබිණි.

අදාළ බෝම්බ ප්‍රහාර වලින් අනතුරුව බස්නාහිර පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරු න් තිදෙනෙකු සහ පොලිස් අධිකාරීවරුන් මෙන්ම ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම්වලට ලක්කර තිබිණි.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.