පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ අයෙක් දකුණු ඉන්දියාවෙන් අත්අඩංගුවට


මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අංඩගුවට ගෙන ඇතැයි ටයිම්ස් නිව් වෙබ් අඩවි අද ( 14) වාර්තා කර ඇත.

දකුණු ඉන්දියාවේ කොයිම්බතෝර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ඉන්දීය ත්‍රස්ත විරෝධි විමර්ශන ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරු මොහොමඩ් අසාරුඩීන් නමැති 32 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇතැයි ද එම වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.

බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් සමඟ සැකකරු සබඳතා පවත්වා ඇති අතර ඔහු සහරාන්ගේ ෆේස්බුක් සමාජ ජාල මිතුරෙකු බවට ද හඳුනාගෙන තිබේ.

ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ වැටලීම් වලදී අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 5 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව ඉන්දීය ජාතික විමර්ශන ආයතනය ප්‍රකාශ කර ඇත.

අයි එස් සංවිධානයට සම්බන්ධ එම සැකකරුවන් කේරල ප්‍රදේශයේ තරුණයන් බඳවා ගැනීම් සිදුකර ඇති බව  වාර්තා වෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට දකුණූ ඉන්දියාවේ අයි.එස් සටන්කාමීන් සොයා ඉන්දීය ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබිණි.

125