පාසල් සිසුවිය අපයෝජනය කළාට කිතල්ඇල්ලේ උද්ඝෝෂණ


 

(ඩී.කේ.රත්න)

කිතල්ඇල්ල සහ බොරලන්ද ප්‍රදේශයේ ගම්වැසියෝ පිරිසක් අද (31) බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රධාන මාර්ගය අම්පිටිය මංසන්ධියෙන් අවහිර කරමින්  උද්ඝෝෂණයක නිරත වූහ.

පෞද්ගලික බස් රථයක දී 14 හැවිරිදි පාසල් සිසුවියක් කොන්දොස්තරවරයකු අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.

බණ්ඩාරවෙල සිට කිතල්ඇල්ල දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක වීදුරු සම්පූර්ණයෙන්ම අදුරු ආලේප කර ඇති අතර මෙම පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා  සිසුවිය බස් රථය තුළදී අපයෝජනයට ලක් කර ඇතයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය  විසින් කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නමුත් මෙම මාර්ගයේ ධාවනය වන මෙම බස්රථ පිටතට නොපෙනෙන පරිදි වීදුරුවල අදුරු ආලේප කර ඇති බැවින් මෙම බස්රථවල ගමන් කිරීම කාන්තාවන්ට හා සිසුවියන්ට නොකළ හැකි බවත් එම නිසා මෙම බස්රථ දෙක ධාවනයෙන් ඉවත් කර විසඳුමක් ලබා දෙන ලෙසත් ගම්වැසියෝ ඉල්ලති.

බණ්ඩාරවෙල සහ ඇල්ල පොලීසිය ඒකාබද්ධව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.