(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ‘පුත්තලම අල් සුහරියා මද්‍රසා පාසලේ’ සිසුන්ට යුද මානසිකත්වය හුරුකරන අයුරින් දේශන පැවැත්වුයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම පාසලේ දේශකයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ‘පුත්තලම අල් සුහරියා මද්‍රසා පාසලේ’ දේශකයින් වන අනාස් අන්වර්, මොහොමඩ් ජුසෙයිල් අබ්දුල් හමීඩ් ජාබර් සහ එම ස්ථානයේ රැදී සිටි මොහොමඩ් අසිපත් අබුබකර් සිද්ධික් සහ රාවුත්තර් නෙයිනා අසනාත් මරක්කාර් යන අයවළුන් ය.
රටේ ජනතාවට අධිකරණය පිළිබදව කිසිදු සැකයක් ඇති නොවන අයුරින් විමර්ශන සිදු කළ යුතුව ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් ලබා නොගෙන හිස් කොළ අධිකරණයට ඉදිරිපත් කර නියෝග ඉල්ලා නොසිටින ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් සිව් දෙනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්ථාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

