පාසල් පටන් ගන්න පෙර අධ්‍යයන අනධ්‍යයන හැමෝටම එන්නත්


(ඩයනා උදයංගනී)

පාසල් නැවත ආරම්භ කිරීමට පෙර අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම වැදගත් බවත් ඒ සඳහා දළ වශයෙන් එන්නත් මාත්‍රා 279,020ක් අවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බව කී අමාත්‍යවරයා එහි ප්‍රථම පියවර එන්නත්කරණය බව ද සඳහන් කරයි.

එසේ විවෘත කිරීමේ දී පවතින ගැටලු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවද මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කියයි. එන්නත්කරණය තුළින් ගුරුවරුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය මෙන්ම මාපියන් තුළ විශ්වාසය ගොඩ නැඟීම ද සිදුවෙනු ඇතැයි කී ඇමතිවරයා පාසල් සිසුන් සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය පිළිබඳවද විශේෂ අවධානය යොමුව ඇතැයි පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාසල් විවෘත කිරීමේ පසුබිමක් ක්‍රමානුකූලව සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් සියල්ල වසා දමන්නට සිදු වූ බව කී අමාත්‍යවරයා මෙම කාලසීමාව තුළ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා මාර්ගගත දූරස්ථ අධ්‍යාපනය සමඟ ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් දියත්කොට ඇතැයි ද ඇමතිවරයා කීවේය.

එසේ වුවත් දුරස්ථ අධ්‍යාපනය පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනයට සතුටුදායක විකල්පයක් නොවන බව කී ඇමතිවරයා ඒ සඳහා සූදානම් වීමට සෑහෙන කාලයක් අවශ්‍ය බව ද කීවේය.

එබැවින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කිරීම සිදුකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයක ඇතැයිද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පාසල් කටයුතු අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන යන මහත්වරු සහ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.