පාලන මිලට හාල් තියෙන්නේ කොහෙද?


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ආණ්ඩුව පැනවූ පාලන මිලට සහල් ගන්නට කොහේවත් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන්  මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රහුමාන් මහතා මෙසේද කීය.

ජනපති කතාවක් කරමින් ඉදිරියේදී දෙන්න යන සහන ගැන සඳහන් කළා.නමුත් අද රටේ හාල් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා.වෙළඳපොලේ හාල් වැඩි ගණනට විකිණීම නිසා බොහෝ ආහාර වල මිල වැඩිවී තිබෙනවා.ජනපති මේ රටේ හාල් මෝල් හිමියන් සමඟ වට පහක් විතර සාකච්ඡා කළා.අන්තිමට  220ට තිබුණු පාලන මිල රුපියල් දහයකුත් වැඩි කරලා 230ට  විකුණන්න අවස්ථාව ලබා දුන්නා.

මෙහෙම අවස්ථාවක් දුන්නත් තවම වෙළඳපොලේ හාල් හිඟයක් තිබෙනවා.230ට පාලන මිල තිබුනත් තාම නාඩු හාල් විකුණන්නේ  250 ට.කීරි සම්බා 260 යි කිව්වත් වෙළඳපොලේ මිල 280යි.රතු කැකුළු දෙසිය විස්සයි කිව්වත් වෙළඳපොලේ  250යි.

ඒ කියන්නේ ආණ්ඩුව එක පැත්තකින් පාලන මිලක් දැම්මත් තාම මේ රටේ ඉන්න හාල් මෝල් හිමියන් හාල් විකුණන්නේ තමන්ට අවශ්‍ය මිල ගණන් වලටයි.

හාල් මිල පාලනය කරන්නට ආණ්ඩුව රට හාල් ගේනවා.ඒක හොඳ තීන්දුවක්. නමුත් මුලින් ආණ්ඩුව එනකොට කිව්වේ රටින් හාල් ගෙනෙන්නේ නැති බවයි.