පාර්ලිමේන්තුව හැසිරෙන්නේ නපුංසකයන් වගෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අද පාර්ලිමේන්තුව හැසිරෙන්නේ නපුංසකයන්   ලෙස යැයිද  රටේ ප්‍රශ්නයට මේ ආයතනයෙන්  කිසිම උත්තරයක්  ලැබී නැතැයිද  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී  අද (6) පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වුණු සාකච්ඡා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත්  කෙරුණු වාර්තාව පිළිබඳ විවාදයේදීය.

රට බංකොලොත් කරපු  ආණ්ඩුවට දෙන දඬුවම කුමක්දැයි අධිකරණ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කරන බව කිරිඇල්ල මහතා  මෙහිදී ප්‍රකාශ කළේය.

අද ජනාධිපතිවරයා කොහේ සිටිනවා දැයි නොදන්නා  බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විශ්වාසභංග යෝජනාව ඉක්මනට ලබා නොදුනහොත් කතානායකවරයාගේ නිවෙසද වටලනු ඇති බව සඳහන් කළේය.

පචවූ  ආණ්ඩුවකට කිසිම රටක් ණය නොදෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලැබෙන තුරු ආණ්ඩුව ගේම් ගසමින් සිටින බවත් ඔහු කීවේය.

අද රට ඉන්න හිටින්න බැරි තැනට පත්ව ඇති බවත් තමාගේ දරුවන්ද රට අතහැර යෑමට තර්ජන ගර්ජන කරමින් සිටින බවත් කිරිඇල්ල මහතා පැවසීය.

පොහොර තීරණය ගත්තේ ජනාධිපතිවරයාගේ තනිමතයට යැයිද  ඔහු පැවසුවේය.

ඉන්දියාවෙන් මිලියන 500 ක් අරගෙන මාසයක් දෙකක් කන එක ආණ්ඩුවේ වැඩපිළිවෙළ  බවත්  එවැනි වැඩ පිළිවෙලකින් රටේ ආර්ථික ප්‍රශ්නය  නොවිසඳෙන  බවත් හෙතෙම සඳහන් කළේය.

ස්ථිරසාරව ඩොලර් සෙවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගියේ ණය මුදල් වියදම් කරපු ආකාරය ඒ ආයතනය සොයන නිසා යැයි පැවසූ කිරිඇල්ල මහතා ණයවලට කරන දේ නොසොයන නිසා  චීනයෙන් ණය ගැනීමට ආණ්ඩුව වැඩි උනන්දුවක් දැක්වූ බවද   ප්‍රකාශ කළේය.

අද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු  පාර්ලිමේන්තුවේ  නැති බවත් ඒ අයටද   අද මේ සභාව එපාවී ඇති බවත්  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.