පාරවල් හදන්න ඩොලර් කෝටි 5 ක ණයක් ගන්න යයි


(යොහාන් භාසුර)

රට තුළ මාර්ග පද්ධතියේ දැඩි අබලන් ස්වභාවය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග ආයෝජන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ අත්‍යවශ්‍යම මාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 53 ක ණයක් ඉල්ලා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන තෙක් මෙරටට දෙන ණය ආධාර අත්හිටුවා ඇති බව කී අමාත්‍යවරයා ඉතිහාසයේ පටන්ම රට තුළ කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති බහුතරයක් විවිධ විදේශ සංවිධාන සහ රටවලින් ලැබුණු ණය ආධාරවලින් ක්‍රියාත්මක වූ බව ද සඳහන් කළේය.

එම ණය පිළිබඳව සාකච්ඡා සාර්ථක ක්‍රියාත්මක වෙමින් මේ වන විට අවසන් අදියරේ පවතින බවත් විශේෂ ප්‍රමුඛතාවයක් දෙමින් සංවර්ධනය කළ යුතු අත්‍යවශ්‍යම මාර්ග හඳුනාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අදාල මාර්ග නිරික්ෂණය කිරීමට නියමිත බවත් ඒ මහතා කීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවයිනේ සෑම ප්‍රදේශයකම මේ වන විට අත්හිටුවා ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනමින් නැවත අරභණ ලෙස ඉල්ලා සිටි බවත් ඉතාමත් අබලන් තත්වයේ පවතින බොහෝ මාර්ග අලුත්වැඩියා නොකළ හොත් ඉදිරියේදී මහජනතාවට යෑමට ඒමට පවා නොහැකි තත්ත්වයටම පත්වනු ඇති බවත් පෙන්වා දුන්හ.