පාර හදන්න ගෙනා තාර,බෝක්කු වසර දෙකක් කැලෑවක


( නිමල් ජයරත්න  )

පොලොන්නරුව වැලිකන්ද අලුත්වැව ගම්මානයේ සිට පහේකණුව දක්වා කිලෝමීටර් පහක් දිවෙන ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගෙනා තාර බැරල් තොගයක් වසර දෙකක සිට ලඳු කැලෑවක සහ ගෙවත්තක විනාශ වී දිරාපත් වෙමින් පවතින බව වැලිකන්ද අලුත්වැව ගම්වාසීහූ කියති.

මීට වසර දෙකක සිට එම මාර්ගය කාපට් කිරීමේ කටයුතු අතරමග නතර කිරිමෙන් ගිනිදමන, නෙලුම්වැව, බොරවැව,අලුත්වැව, මැදගම, පහේකණුව ඇතුළු ගම්මාන හයක පවුල් පන්දාහකාට වැඩි පිරිසක් ගමනාගමන කටයුතු වලදි විවිධ දුෂ්කරතාවලට මුහුණ පාති.

පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත්වැව හරහා පහේකණුව දක්වා දිවෙන මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමට මීට වසර දෙකකට පමණ ඉහතදී මුල්ගල තැබූ බවද අලුත්වැව ගම්වාසීහු කියති.

මේ සදහා රුපියල් මිලියන 119 ක පමණ මුදලක් යොදවා ඇති අතර මේ වෙනවිට එම මාර්ගය කිරීමට ගෙනා විශාල බෝක්කු බට, තාර බැරල්, මැටල් ඇතුළු සම්පත් රැසක්, රජයේ දේපොළ වශයෙන් විනාශයට පත්ව හානි සිදුවෙමින් පවතින බව අලුත්වැව ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පිටිපන කවීශ්වර නාහිමියෝ අප සමග සඳහන් කළහ.