(මනෝ ප්‍රිය ගුණසේකර)
රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කොට පලායෑම අනතුරට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩූවේ වැඩි දුර විභාගය ඔක්තෝර් මස 10 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (07) නියම කළේය.
මෙම නඩුවේ විභාග මෙම නඩු විභාගය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා තම සේවාදායකයාට අද දින පාර්ලිමේන්තු විවාදයට සහභාගී වීමට නියමිතව ඇති හෙයින් නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නයි කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2016 පෙබරවාරි 28 වනදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරියේ දී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයකින් සංදීප් සම්පත් නමැති තරුණයා රිය අනතුරකට ලක් කළ බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අමතරව ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.
නඩුව අද කැඳවූ අවස්ථාවේ දී පාඨලී චම්පික රණවක මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණයෙ පෙනී සිටියහ.
පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයේ අමතමිනි තම සේවාදායකයාට අද දින පාර්ලිමේන්තු විවාදයකට සහභාගී වීමට අවශ්‍ය වි ඇතැයි දැනුම් දුන්නේය.
එහෙයින් නඩු විභාගය සඳහා අද දින තම සේවාදායකයාට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව දැනුම් දුන් සරත් ජයමාන්න මහතා මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් තබන්නයි ඉල්ලා සිටියේය.
විත්ති පාර්ශවයේ එම ඉල්ලීමට විරෝධය පළ නොකල පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුවේ විභාගය දැනටමත් අවස්ථා කිහිපයකදී කල් ගොස් ඇති හෙයින් නඩු විභාගය සඳහා කෙටි දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරු දමිත් තොටවත්ත මහතා නඩුවක් ආරම්භ කළ විට එය කඩිනමින් අවසන් කිරීම තම අධිකරණයේ ප්‍රතිපත්තිය බවත් තමන්ට සියලු නඩු එක හා සමාන බවත් මෙම නඩුව තමන්ට විශේෂ නඩුවක් නොවන බවත් පැවසීය.
තම ක්‍රියාපිළිවෙළ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් මෙම නඩුවෙන් තමන් මාරු කර හැරීමට අගවිනිසුරුවරයාට හැකියාව ඇතැයි පෙන්වා දුන් විනිසුරු දමිත් තොටවත්ත මහතානඩු විභාගය සඳහා දෙපාර්ශවයට එකඟ විය හැකි ආසන්න දිනයක් ලබා දෙන්නැයි දෙපාර්ශ්වයට දැනුම් දුන්නේ ය.
දෙපාර්ශවයේ එකගත්වය මත මෙම නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 10 වනදා සහ 27 වනදා පැවැත්වීමට දින නියම කළ විනිසුරුවරයා එදින සාක්ෂිකරුට අධිකරණයෙ පෙනී සිටින ලෙස අවවාද කළේය.

