පා.මන්ත්‍රී අර්චුනාගෙන් පැමිණිල්ලක්


( බිමල් ජයසිංහ )

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා  රාමනාදන් මහතාට ජංගම දුරකථන වලින් අමතා  වලිකාමම්   ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඇතුළු කීප දෙනකු මරණීය තර්ජනය කළ බව පවසමින් තෙලිප්පලේ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මන්ත්‍රීවරයා මල්ලාකම් , කන්කසන්තරය පාර අංක 80/14 ලිපිනයේ පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යනු ලබන අතර මන්ත්‍රීවරයා හෝ ඥාතික හෝ පිටස්තර කිසිවෙකු එම ස්ථානයේ පදිංචි නොමැති බවත් මන්ත්‍රීවරයා මීසාලේ උතුර , කොඩි කාමම් ප්‍රදේශයේ  ස්ථිර පදිංචිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 ඒ හේතුවෙන්   එම කාර්යාලයට පොලිස් ආරක්ෂාවද ලබා දී ඇත.

පෙරේදා (24)මන්ත්‍රීවරයාට දුරකථන අංකදෙකකින් ඇමතුම් ගෙන මරණ තර්ජන සිදුකරන බවට 119  ඇමතුම් මධ්‍යස්ථානය මගින් තෙලිප්පලේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන පණිවිඩයක් මගින් දැනුම් දී ඇත.

එම පණිවිඩය අනුව ස්ථානාධිපතිවරයා මල්ලාකම්,  කන්කසන්තරය පාර   පක්ෂ කාර්යාලයට ගොස් පරීක්ෂා කිරීමේදී කිසිවෙක් එහි නොසිටි බැවින්  මන්ත්‍රීවරයාගේ පෞද්ගලික දුරකථන අංකයට ඇමතුමක් ගෙන විමසීමේදී ඔහු කොළඹ සිට යාපනයට පැමිණෙමින් සිටින බවත් පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බවත්   ප්‍රකාශ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව පොලිසිය ට පැමිණි මන්ත්‍රීවරයා වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනකුගේ නම් සහ විස්තර හා  තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඇමතුම් ලබාගෙන තමාට මරණ තර්ජනය කළ බව ප්‍රකාශයක් ලබා දුන් බව පොලිසියේ වැඩිදුරටත් සඳහන්කරයි.