(සුජිත් හේවාජුලිගේ සහ ප්‍රියන්ත ජයලත් )
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවට මෙරට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් 2021 වර්ෂයේදී පළ කළ පුවතෙන් ජයසුමන මහතාට ඇති වූ සිත් තැවුල සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය නුගේගොඩ දිසා අධිකරණයේදී ජයසුමන මහතාගෙන් අද ප්‍රසිද්ධියේ සමාව ගත්තේය.
එම පුවතට පාදක කර ගත්තේ මාධ්‍ය සාකච්ඡාවල දී කියවුණු තොරතුරු සහ නිරන්තරයෙන් ප්‍රවෘත්ති සපයන මූලාශ්‍ර වෙතින් ලැබුණු තොරතුරු කිහිපයක් නමුත් පසුව වැඩිදුර සොයා බැලීමේදී එම තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව තහවුරු වූයේ යැයි විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එසේම එම පුවත පළ කරන ලද්දේ හුදෙක් ප්‍රවෘත්තියක් වශයෙන් මිස මහාචාර්ය චන්න ජයසුමන මහතාට හෝ ඒ මහතාගේ බිරිඳට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් ඇතිව නොවන බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අදාල ප්‍රවෘත්තියේ සඳහන්වූ මෝටර් රථ සමාගම පැවැසූවේ තම ආයතනය සතුව තලවතුගොඩ ප්‍රදේශයේ කිසිදු වාහන අලෙවිසලක් නොමැති බවයි. එසේම තම ආයතනයෙන් චන්න ජයසුමන මහතා හෝ ඔහුගේ බිරිඳ කිසිදිනක මෝටර් රථයක් මිලදී ගැනීමට පැමිණ නැති බවද එම ආයතනය සඳහන් කළේය.

