ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වෙයි


ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා අද (31) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.

ඉකුත් 10 වැනි දා සිට මොළයේ වූ සැත්කමක් වෙනුවෙන් ඒ මහතා දිල්ලි නුවර රෝහලකට ඇතුළත්ව සිටියේය.  ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.

තමා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසට ස්වයං - නිරෝධායකයට යොමුවන්නැයි ද ඔහු සඳහන් කර තිබිණි.

කෙසේවෙතත්, පසුගිය දින කිහිපය තුළදී පෙනහළුවල අසනීප තත්වය වර්ධනය වී තිබූ බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ, ප්‍රනාබ් මුඛර්ජි මහතාගේ මගපෙන්වීම ලැබීම තමාට මහත් භාග්‍යයක් වූ බවය. සිය දේශයේ සංවර්ධනය වෙනුවෙන් හිටපු ජනපතිවරයා අද්විතීය සලකුණක් තැබූ බව කී මෝදි මහතා, ඉන්දීය ජනතාව ඔහුගේ වියෝවෙන් කම්පා වන බවත්, මුඛර්ජි මහතාගේ පවුලට සිය කනගාටුව පළකරන බවත් සඳහන් කළේය

ප්‍රනාබ් මුඛර්ජි මහතා 2012 වසරේ සිට 2017 වසර දක්වා ඉන්දියාවේ ජනපති ධූරය හෙඹවීය.  ඔහු ඉන්දියාවේ 13 වන ජනපතිවරයා වූයේය. ජනපති ධූරයට පත්වීමට පෙර ඔහු, භාරත කොංග්‍රසයේ සභිකයකු වශයෙන් ආරක්ෂක, මූල්‍ය ඇතළු අමාත්‍යංශ කිහිපයකම අමාත්‍ය ධූරය දැරුවේය.  

ඉන්දීය රජය විසින් පුද්ගලයකුට පිරිනමන ඉහළ ම සම්මාන වන, භාරත රත්න සහ පද්ම විභූෂණ යන සම්මානවලින් ද ප්‍රනාබ් මුඛර්ජි මහතා පිදුම් ලැබීය.