ප්‍රදේශ රැසකට හෙට වැසි


ඩයනා උදයංගනී

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට බලපා ඇති වියළි කාලගුණය නිමා කරමින් ප්‍රදේශ රැසකට හෙට (4) සිට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට හෙට (4) පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 ඊට අමතරව නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.