ප්‍රචන්ඩ ක්‍රියා ගැන විවාදය හෙට :ශෝක යෝජනා විවාදය කල් යයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධිවලින් පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභය සම්බන්ධයෙන් සභාව  කල්තබන අවස්ථාවේ විවාදය හෙට (20) දිනයේද  පැවැත්වීමට තීරණය කළ බව  සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

මේ අනුව ඒ කාරණය විවාදයට ගන්නා  දින ගණන හතරක් දක්වා ඉහළ යනු ඇත.

රටේ පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්වූ විවාදය  පාර්ලිමේන්තුවේදී පසුගිය 17 වැනිදා, ඊයේ (18) සහ  අද (19) පැවැත්විණ.

ප්‍රචණ්ඩකාරීන් අතින් නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ යෝජනාව අද(20) දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබුණත් එය කල් ගියේය.

පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අද දිනයේද  විවාද කළ යුතු බව මන්ත්‍රීවරුන් ගණනාවක් ඉල්ලීම්   කර ඇති  හෙයින්  එම පියවර ගත් බවද සභානායකවරයා කීවේය.

මේ අතර ඝාතනය කෙරුණු අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා වෙනුවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව  තිබූ ශෝක යෝජනා විවාදයට  යම් යම් ප්‍රශ්න නිසා සහභාගිවීමට නොහැකි වන බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇතැයි  දැනගන්නට ඇත