(ඩයනා උදයංගනී)
පළාත් පාලන ආයතනයන්හි සේවය කරන අනියම්, දෛනික හා කොන්ත්‍රාත් සේවකයින් කඩිනමින් ස්ථිර කිරීමට රජය කටයුතු කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
පළාත් පාලන ආයතනවල දැනට අනියම්, දෛනික හා කොන්ත්‍රාත් පදනමින් 8000 ක් පමණ සේවය කරන බවත් මෙම පිරිස කඩිනමින් ස්ථිර කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා තමා අතර පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා තමාට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනතාවාදී රජයක් වන වත්මන් රජය කුමන අභියෝග පැවතියත් ජනතාවාදී තීරණ ගැනීමට පසුබට නොවන බව කී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම ස්ථිර කිරීම් සඳහා වන යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසීය.
මෙලෙස ස්ථිර කිරීමට නියමිත පිරිස ඒ ඒ පළාත් පාලන ආයතන විසින් නිර්දේශ කරන ලද සේවකයින් බවත්, මෙයින් බොහොමයක් සෞඛ්‍ය හා මාර්ග ක්‍ෂේත්‍රයන්හි වසර ගණනාවක් අනියම්, දෛනික හා කොන්ත්‍රාත් පදනමින් සේවය කරන්නන් බවත් අමාත්‍යවරයා කීවේය.

