පළාත් කීපයකට තරමක් තද වැසි


(ඩයනා උදයංගනී)

සබරගමුව, බස්නාහිර පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (14) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඌව සහ නැගෙනහිර පළාත්වල ද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද ඔහු කීවේය.

උතුරු සහ උතුරු මැද පළාතවලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද හෙතෙම සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.