පළාත් කීපයකට අද තද වැසි


(ඩයනා උදයංගනී)

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) සවස් කාල‍යේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.