(බිඟුන් මේනක ගමගේ)
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ දී පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට රජය ගත් තීරණය වහා අවලංගු කරන්නැයි ලංකා ගුරු සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද(15) ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 35ක් විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ඇති බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි එම ලිපියෙහි සඳහන් වේ .
2011 වසරෙහි ලබාදුන් අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ව 2016 වසරේ සිට 2021 වසර වන විට අදාළ ඉලක්ක ගත 35 ක සීමාව දක්වා යන්නට පැවති රජය සැලසුමක් සකස් කළේ යැයි ද සිය ලිපිය මගින් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.
එම සැලසුමට අනුව මෙම වසරේ දී පළමු ශ්‍රේණියේ පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 36ක් වුවත් රජය ගත් නව තීන්දුව සමග නව අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ද එම ලිපියෙහි සඳහන් වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෙහිලා රැඩිකල් සහ ප්‍රගතිශීලී පියවරක් යැයි ද ලංකා ගුරු සංගමය පවසයි.
අදාළ අධිකරණ තීන්දුව කඩවන අයුරින් කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී එම ක්‍රියාවලියට එරෙහිව ද අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි ද ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි සඳහන් වේ.
මෙම කරුණු සලකා බලා රජය ගත් අදාළ තීන්දුව අවලංගු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද නො එසේ නම් ඊට එරෙහිව අනිවාර්යයෙන්ම ලංකා ගුරු සංගමය අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ යයිද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ.

