පස්වරු 1 වන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 139 ක්


(හර්ෂණ තුෂාර සිල්වා)

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිට පස්වරු 1 දක්වා කාලයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිදුවීම් 139 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පහරදීම් දෙකක්, වංචා හා අල්ලස් සිදුවීම් 2ක්, මැතිවණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් 23ක්, නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධ සිදුවීම් 47ක් සහ බිය ගැන්වීම් සහ බලපෑම් කිරීම් සම්බන්ධ සිදුවීම් 40ක් ඒ අතර වන බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට අනුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිදුවීම් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 15කි.

පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිදුවීම් 13 බැගින් වාර්තා වී තිබෙන අතර අනුරාධපුරය, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලින්  සිදුවීම් 10 බැගින් වාර්තා වී තිබේ.

ඉහත කී සමස්ත සිදුවීම් 139න් 91ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සිදුවීම් වන අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සම්බන්ධ සිදුවීම් 31ක් ද ඒ අතර වේ. ජාතික ජන බලවේගයට සම්බන්ධ සිදුවීමක් සහ පක්ෂය හඳුනානොගත් සිදුවීම් 7ක් ද ඒ අතර වේ.

රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ සිදුවීම් 9ක් පිළිබඳව ද තොරතුරු ලැබී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරයි.