පරිසරය ගැන සෙවීමට ඩ්‍රෝන තාක්ෂණය


(විනීතා එම් ගමගේ)


පාරිසරික ප‍්‍රශ්නවලදී ස්ථානීය පරික්ෂණ සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. 


මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබා ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 


කර්මාන්ත ශාලාවලින් අපදියර ගංගා ඇල දොළට බැහැර කරන අවස්ථා, වනාන්තර විනාශයන් පිළිබඳ පැමිණිලි ඇතුළු  සිද්ධීන් ගැන පරික්ෂාවන් හිදී මෙම තාක්ෂණය යොදා ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ලංකාදීපයට පැවැසීය.

 එම තාක්ෂණය යොදා ගෙන මේ වනවිටත් කරදියාන කසල කන්ද පිළිබඳ  පුළුල් අධ්‍යයනයක් සිදුකළ බවත් එහි භොතික තත්ත්වයන් පිළිබඳ සියලූ තොරතුරු ලබා ගෙන ඇති බවත් හෙතෙම කියා සිටියේය.


 පානීය ජලය පිරිපහදු කෙරෙන ජලාශවල ජල සාම්පල ලබා ගැනීමට මෙතෙක් සිදු කළේ බෝට්ටුවලින් ගොස් ජල සාම්පල ලබා ගැනීම බවත් එවැනි අවස්ථාවල දී ජලය කැලතෙන බැවින් නිවැරදි ජල සාම්පල ලබා ගැනීම ප‍්‍රශ්නයක්ව තිබු බවත් ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ ජල සාම්පල ලබා ගැනීමෙන් ඉතා නිවැරදි සාම්පල ලබා ගත හැකි වන බවත් පල්ලේගම මහතා කීය. 


 එමෙන්ම කුඩා ජල විදුලි බලාගාරවලට අවසර දෙන අවස්ථාවල දී පාගමනින් ලඟාවීමට අසීරු ස්ථාන සඳහා අවසර ඉල්ලන අවස්ථා ඇතැයි පෙන්වා දුන් සභාපතිවරයා එවැනි අවස්ථාවල දී ද මෙම තාක්ෂණය යොදා ගන්නා බව කියා සිටියේය. 


කෘෂි කර්මාන්තයේ දී ද ඩ්‍රෝන තාක්ෂණය යොදා ගත හැකි යැයි පෙන්වා දුන් පල්ලෙගම මහතා කෘමි උවදුරුවල දී අවශ්‍ය ස්ථාන පමණක් සොයා තෙල් ඉසීමට පොහොර මදි ස්ථානවලට පමණක් පොහොර යෙදීමට ද එය යොදා ගත හැකි බව ද සඳහන් කළේය.