පණුවොත් එක්ක රටඉඳි කවන්න බැරිවෙයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)

මීරිගම කල්එලිය ප්‍රදේශයේ  කේක් නිෂ්පාදනය සඳහ පළතුරු සකස් කරන ආයතනයක කල් ඉකුත් වූ හා පනුවන් සහිත රට ඉදි තොගයක් වෙළද පොළට නිකුත් කිරීමට සකස් කරමින් තිබියදී   අද ( 18)  ගම්පහ පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන නිළධාරීන් පිරිසක් විසින් වටලනු ලැබීය.

ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට ලද තොරතුරක් මත මෙම ආයතනය වටලන  අවස්ථාවේ එහි නිෂ්පාදන කටයුතු  සිදු වෙමින්  පැවති බව හෙලිවිය.

කල් ඉකුත්වී පනුවන් ගසන ලද  රට ඉදි කිලෝ 750ක් පමණ කර්මාන්ත ශාලාව තුළ තිබියදී සොයා ගැනීමට  මෙම වැටලීම කල  නිළධාරීන්ට හැකිවී ඇත.

මෙහි සකස් කරන ලද පලතුරු,  කේක් සෑදීම සදහා කල්මුනේ  ප්‍රදේශයටත්  අවට ප්‍රදේශ වල බේකරි වලට සහ සහ වෙළද සැල් වලට ද බෙදාහැර ඇති බව  මූලික පරීක්ෂණ වලදී අණාවරනය වී ඇත. 

ඉතා අපිරිසිදු පරිසරයක්තුල  පළතුරු සකස් කිරීම් මෙම කර්මාන්ත ශාලාවතුල සිදු වී ඇති අතර පළතුරු නිෂ්පදන භාජන තුලට විවිධ කෘමි සතුන් වැටි එම සතුන් සමගම පලතුරු අඹරා අති ආකාරය දැකගත හැකිවූ බව පාරිභෝගික සේවා නිලධාරීහු  පැවසූහ

කොළඹ පිටකොටුව ප්‍රදේශයෙන් මිළදී ගන්නා නරක් වූ රට ඉදි  මෙම ස්ථානයට ගෙනවිත් නැවත සකස් කර වෙළද පොළට නිකුත් කරන බව පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් සිදුකල ප්‍රශ්ණ කිරීම් වලදී හෙළි වී ඇත.

නිළධාරීන්  විසින් අයිතිකරුට එරහිව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කල අතර කර්මාන්ත ශාලාවේ වැඩ කළ සේවකයින් හතර දෙනෙක් නිළධාරීන් බාරයට ගෙන බැදුම් කරයක් මත නිදහස් කර හිමි කරුට  අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට දැනුම් දෙනු ලැබීය.

නිළධාරීන් භාරයට ගත් රට ඉදි තොගය මුද්‍රා තැබූ අතර අධිකරණ තීන්දුවක් ලැබෙන තුරු කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරම් තහනම් කිරීමට නිළධාරීන් පියවර ගත්තේය.