පක්ෂයේ පසුබෑමට මහලේකම් - නායකයා චෝදනා ලබති


(එෆ්.අස්ලම්)

පසුගිය මහ මැතිවරණයේදී ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයට වූ පසුබෑමේ වගකීම පක්ෂයේ මහ ලේකම් සහ දෙමළ ජාතික සන්ධාන නායකත්වය  විසින් ගත යුතු බවට පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී චෝදනා එල්ල වී තිබේ.

තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් කේ.තුරෙයිරාජසිංහම් ඉවත් කරන්නැයි බලකර   පක්ෂ නියෝජිතයින් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවද තිදෙනෙකු හැර සෙසු සියළු නියෝජිතයින්ගේ කැමැත්ත මත සම්මත වූ බව එම පක්ෂයේ ආරංචිමාර්ග කියා සිටීයි.

කෙසේ නමුත් කඩිනමින් දෙමළ ජාතික සන්ධානයේ මහ සභා රැස්වීමක් කැදවා මහ ලේකම් ධූරය ඇතුළු තනතුරු පිළීබද තීරණය ගැනීමට මධ්‍යම කාරක සභාවේදී තීරණය වී ඇත.

මහ මැතිවරණයේදී ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයට වූ පසුබෑම පිළීබද සාකච්ඡා කිරිම සදහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සියළු නියෝජිතයින්ගේ සහබාගීත්වයෙන්  වව්නියාව කුරුමංකාඩු ප්‍රින්සස් රෝස්  හෝටලයේදී රැස්විය.

මෙම රැස්වීම සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා,දේශපාලන කණ්ඩායම් නායක මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්,මහ ලේකම් කේ.තුරෙයිරාජසිංහම් ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල සිටින සියළුම නියෝජිතයින් සහබාගී වූ අතර ඒ ඒ කොට්ඨාස මට්ටමින් සිදුවූ පසුබෑමට හේතු එක් එක් නියෝජිතයින් විසින් ඉදිරිපත් කර තිබිණි.

මෙම අවස්ථාවේදී පක්ෂයේ මහ ලේකම් කේ.තුරෙයිරාජසිංහම් මහතාට    පක්ෂ නායකත්වයට නොදන්වා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට අයෙකු පත්කිරීම වරදක් බව මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර ඇති අතර එම මන්ත්‍රීධූරය අම්පාර දිස්ත්‍රීක්කයට ලබාදීම නිවැරදි බව තීරණය වී ඇත.  

මෙහිදී   මහ ලේකම්වරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට උත්සහා දරා ඇති නමුත් එසේ කිරීමට පැවති  නොහැකියාව මත  පක්ෂ මහ ලේකම්වරයා ඉවත් කරන ලෙස බලකරමින්  යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.මීට මධ්‍යම කාරක සභාවේ නියෝජිතයින් තිදෙනෙකු හැර සෙසු සියළු දෙනාගේම සහාය ලැබී ඇතැයි  පක්ෂ ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාල්ස් නිර්මලනාදන් මහතා දෙමළ ජාතික සන්ධානයට වී ඇති පසුබෑමට ප්‍රධාන හේතුව සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යැයි චෝදනා කර ඇති බවද තමිල් අරසු කච්චි පක්ෂ ආරංචිමාර්ග පවසයි.

මීට අමතරව මෙම රැස්වීමේදී දෙමළ ජාතික සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ දේශපාලන විසදුම් ලබාගැනීමේ ක්‍රියාවලිය පිළිබදවද සාකච්ඡා කර තිබිණි.