නොහොබිනා රාජකාරියක් කළ පොලිස් කොස්තාපල් මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවක පිළියන්දල කොළමුන්න කාමරයක දින දෙකක් තිස්සේ රඳවාගෙන අමානුෂික ලෙස පහරදුන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුක්ත මොරටුව පොලිසියේ විශේෂ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකි.

ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලද කාන්තාව රෝහල් ගත කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කොස්තාපල්වරයා අවිවාහක පුද්ගලයකු වන අතර පහරකෑමට ලක්වූ කාන්තාව විවාහක තැනැත්තියක් බව පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා දැන හඳුනාගැනීමෙන් අනතුරුව කොස්තාපල්වරයා කාමරයක් කුලියට ගෙන පිළියන්දල ප්‍රදේශයේ එම කාන්තාව සමග ගත කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සැකකාර කොස්තාපල්වරයා එම කාන්තාවට දින දෙකක් තිස්සේ වැසිකිලියට හෝ යාමට ඉඩ නොදී පහරදීම සිදුකර ඇති බවත් ඇයගේ නාසය මෙන්ම ශරීරයේ ස්ථාන කිහිපයක්ම දැඩිලෙස තුවාල වී ඇති බවත් පොලිසිය කියයි.