නුවර පෙරහර අගෝස්තු 2 දා සිට



(චමිල් රූපසිංහ)
 
 
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන් හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගොස්තු 2 වැනි දා ආරම්භ කරන බවත්  රට තුළ පවතින වාතාවරණය අනුව මෙවර පෙරහර සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට නියමිත බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
 
දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් පසුව ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු 5 දින වීදී සංචාරය කිරීමට නියමිතය.
 
කුඹල් පෙරහර අගෝස්තු 5 දින සිට 9 වන දින දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර 10 වැනි දා ආරම්භ කරන බව ප්‍රදීප් නිලංගල දෑල මහතා කීය.
 
රන්දෝලි පෙරහර 10 සිට 14 දින දක්වා පැවැත් වීමට නියමිතය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 14 වැනි දා වීදී සංචාරය කිරීමෙන් පසු 15 දින අලුයම ගැටඹේ දිය කපනා තොටේදී දිය කැපුම් මංගල්‍යය පැවැත්වෙන බවත් එදින දහවල් පෙරහර ගෙවැදීමෙන් පසුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වීමට නියමිත බවත් දියවඩන නිළමේවරයා ප්‍රකාශ කළේය.
 
මෙම අවස්ථාවට සතර මහ දේවාල බස්නායක නිළමේවරු ඇතුළු රාජ්‍යය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.