නීතීඥවරු 217 ක් මහ සභා රැස්වීමක් ඉල්ලති


(විනීතා එම් ගමගේ)

නීතියේ ආධිපත්‍යය බරපතල කඩාවැටීමකට හෝ අවදානමකට ලක්ව ඇති බැවින් එකී තත්ත්වය මඟ හරවා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවන්නැයි නීතීඥවරුන් 217 කගේ අත්සනින් යුතු යෝජනාවක්  ශ්‍රී ලංකා  නීතීඥ සංගමයේ ලේකම් කෞෂල්‍ය නවරත්න මහතා වෙත අද (16) බාර දී ඇත

යෝජනා 7න් යුතුව බාරදී ඇති මෙම ලිපියෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ව්‍යවස්ථාවේ 12 ඒ ව්‍යවස්ථාව ප‍්‍රකාරව මෙම මහ සභා රැස්වීම සිදුකරන කරන ලෙසයි. 

තව්හීත් ජමාත් සංවිධානය තහනම් කිරීම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි මුහුණු ආවරණය කරන ඇඳුම් තහනම් කිරීම වෙනත් රටවල සරණාගතයින් ශ්‍රී ලංකාව වෙත බාර නොගැනීම, අන්තවාදය වපුරන විද්‍යායතන ස්ථාපිත කිරීමට ඉඩ නොතැබීම, ඇතුළු යෝජනා හතක් සමඟ මෙම ලිපිය භාර දුන් බව එහි යෝජනාකරු ලෙස අත්සන් කර ඇති නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා පැවැසීය.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදින්ට ආධාර, අනුබල හෝ සහයෝගය දුන් බවට චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයන්ගේ එකී චෝදනා පිළිබඳ  1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත් 2006 අංක පහ දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ගේ වත්කම්  විමර්ශනය කිරීමක් කරන ලෙස ද එම ලිපිය මගින් ඉල්ලා සිටි බව ද ගමගේ මහතා සඳහන් කළේය. 

එමෙන්ම දැනට  පවතින 1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අඩුපාඩු වෙතොත් රටේ ජාතික ආරක්ෂාව ප‍්‍රමුඛත්වයේ ලා සළකා පක්ෂ විපක්ෂ සියලු පාර්ශවයන්ගේ එකඟත්වය මත එම පනතටම නව සංශෝධන ගෙනඒමට කටයුතු කරන ලෙසත් එයින් ඉල්ලා සිටි බව ද හෙතෙම සඳහන් කළේය.