නීතිවිරෝධී සන්නිවේදන මධ්‍යස්ථාන දෙකක් වටලා 3 ක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

අති නවීන  ජංගම දුරකතන  හා සන්නිවේදන උපකරණ යොදාගෙන   මුල්ලේරියාවේ හා කොරතොට ප‍්‍රදේශවල  නීති විරෝධී ලෙස   පවත්වාගෙන ගිය සන්නිවේදන මධ්‍යස්ථාන දෙකක්  වටලා පිලිපීන ජාතික කාන්තාවක් සහ ලාංකිකයින් දෙදෙනෙකු  අද (25)  පෙරවරුවේ  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 
 
පිලිපීන ජාතික කාන්තාවන්  නීතිවිරෝධී මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ මුල්ලෙරියාව පොලිස් වසමේ ගල්හේන පාරේ නිවසක බවත්, සෙසු සැකකරුවන් දෙදෙනා කඩුවෙල කොරතොට ප‍්‍රදේශයේ  නිවසකදීත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් කීය.
 
මෙම ස්ථාන දෙකේ තිබී අන්තර් ජාල පහසුකම් සහිත  දුරකථන 30 ක්, විවිධ දුරකතන සමාගම්වලට අයත් සිම් කාඩ්පත් 2000 ක්,  රවුටර් 16 ක්, අධි සන්නිවේදනය උපකරණ  රැසක් සොයාගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
 
තවද  වායු රයිෆලයක් හා කඩුවක් ද   සැකකරුවන් දෙදෙනා සතුව තිබී සොයාගෙන තිබුණි.