
(රෝෂන් තුෂාර)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ වටස්ඇප් ගිණුම හැක්කර බැංකු ගිණුමක මුදල් වංචා කළේ යැයි කියන නයිජීරියන් ජාතිකයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය.
මෙරට අඹු සැමි යුවළකට රුපියල් 25000ක මුදලක් ලබාදී බැංකු ගිණුම් හා ජංගම දුරකථන සිම්පත් ව්‍යාජව සකසාගත් නයිජීරියන් ජාතිකයකු මැදවත්ත මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම හැක්කර මෙසේ රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
ප්‍රධාන සැකකරු බවට දැනට හඳුනාගෙන ඇති නයිජීරීයන් ජාතිකයාට බැංකු ගිණුම් සාදා දී දුරකථන සිම්පත් ද ලබා දුන්නේ යැයි කියන අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මෙම කරුණු ඉදිරිපත් කළේය.
කනිෂ්කා සහ මාරියන් පෙරේරා යන සැකකරුවන් මෙසේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික බැංකුවක පවතින බැංකු ගිණුම හැක්කර ඇති සැකකරුවන් රුපියල් ලක්ෂ දෙකක සහ රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් වශයෙන් අවස්ථා දෙකකදී මෙම මුදල් වංචා කර ඇති බවය.
මැදිමත්ව මහතාගේ ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලික බැංකුවේ බැංකු නිලධාරීන්ගේ සාක්ෂි ප්‍රකාශ සහ පළමු සැකකාරියගේ ජංගම දුරකථන විස්තර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන බවද පැවසීය.

