නිදහස් මාධ්‍යවේදීයකුගෙන් පෙත්සමක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

 

තමන් විසින් ඉංග‍්‍රීසි පුවත්පතකට ලියූ දේශපාලන ලිපියන් පදනම් කර ගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමට යන බව දැන ගන්නට ලැබී ඇති හෙයින් , එසේ කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නිදහස් මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

කුසල් පෙරේරා මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සංවිධානාත්මක හා අපරාධ නිවාරණ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති  කමල් සිල්වා මහතා ඇතුළු 8 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

පෙත්සම්කරු නිදහස් මාධ්‍යවේදියකු සහ ඉංග‍්‍රීසි ගුරුවරයෙකි. පෙත්සම්කරු මැයි 17 වැනිදා ඉංග‍්‍රීසි පුවත්පතකට ලියූ දේශපාලන විචාරයක් පදනම් කරගනමින් සංවිධානාත්මක හා අපරාධ නිවාරණ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කොළඹ අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ බී ගොනු කර ඇත.ඒ සම්බන්ධයෙන් නියෝගය ද ලබා ගෙන ඇතැයි පැවසේ.

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට යන බව පෙත්සම්කරුට දැනගන්නට ලැබී ඇත.

එබැවින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසත් , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.