(විනීතා එම් ගමගේ)
නිකවැරටිය, කොටවෙහෙර දී කාන්තාවන් දෙදෙනකුගේ අමානුෂික පහර කෑමට ලක්වූ 13 හැවිරිදි දැරිය පවුලේ ඥාතින්ට හෝ ළමානිවාසයකට බාර නොදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.
මේ වනතුරුත් ඇයගේ පීඩාකාරි මානසිකත්වය සම්පූර්ණයෙන් ඉවත්ව නැති බැවින් ඇය තවදුරටත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක ගේ සොයා බැලීම් යටතේ දින කිහිපයක් තබා ගැනීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය මතය වූ බැවින් මෙසේ වෛද්‍ය බාරයේ රෝහලක තබාගැනීමට තීරණය කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා අද (9) පැවසීය.
ළමා ආරක්ෂක අධිකාරිය මගින් නිකවැරටිය රෝහලට ඇතුළත් කළ ඇය පසුව කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබු අතර එහි දී අධිකරණ වෛද්‍ය විශේෂඥ ඉලංගරත්න බණ්ඩාර මහතා ප‍්‍රධාන වෛද්‍ය කණ්ඩායමක් විසින් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ප‍්‍රගති නිරික්ෂණයකට ලක් කරන ලදී.
කිසිදු ඥාතියකුට හෝ ළමා නිවාසයකට භාර නොදී තව දුරටත් වෛද්‍ය නිරික්ෂණය යටතේ ඇය තැබීමට තීරණය කරන ලද්දේ එහි දී යැයි ද විදානපතිරණ මහතා කියා සිටියේය.
මෙම 13 හැවිරිදි දැරිය ඇගේ පියාගේ දෙවැනි විවාහයේ බිරිඳ හා ග‍්‍රාමනිලධාරියකගේ කෲර පහර දීමකට ලක්ව ඉකුත් 31 වැනිදා රෝහල් ගත කරන ලද අතර එම පහර දීමෙන් ඇය ශාරිරිකව හා මානසිකව බරපතල පීඩාවකට ලක්ව තිබිණි.

