(නිමල කොඩිතුවක්කු)
නැගෙනහිර පළාතේ අනවසර වැලි කැණිම් සිදු වන බවට දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්‍යක්යන් රාසමානික්කම් මහතා පසුගිය අඟහරුවාදා (07) පාර්ලිමේන්තුවේ සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් සිදු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද (09) නියෝග කළාය.
එම පරීක්ෂණය ඉතා කඩිනමින් සිදු කර ඊට අදාළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදෙන ලෙස ද ඇය නියෝජ්‍ය පොලිස්පතිවරයාට කිවාය. නැගෙනහිර පළාතේ වැලි කැණිම් සම්බන්ධව රජයටත්, රජයේ මැති ඇමතිවරුන්ටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින්ටත් පුද්ගලිකව තමන්ටත් පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගනිමින් රාසමානික්කම් මන්ත්‍රීවරයා මෙම චෝදනාව සිදු කළ බවද ඇය කීවාය.
අවස්ථා ගණනාවකදිම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විම් වල දී මෙම අනවසර වැලි කැණීම් නතර කරන ලෙස තමන් දැඩිව තීන්දු තීරණ ගත් බවද ආණ්ඩුකාරවරිය අවධාරණය කළාය.
මෙම අවසරපත් ලබා ගන්නා පුද්ගලයන් එම අවසරපත් වල සදහන් කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි කැණීම් සිදු කරන බව ඇතැම් අවස්ථා වලදී පෙනී ගිය බැවින් ඒවා නතර කිරීම කටයුතු කරන ලෙස පොලිස් විශේෂ කාර්යය බලකායට සහ නාවික හමුදාවට උපදෙස් දුන් බවත් ඔවුන් හරහා විශේෂ වාර්තාවක්ද ලබාගෙන ජනාධිපතිවරයාට භාරදිමට කටයුතු කළ බවත් ආණ්ඩුකාරවරිය පැවසුවාය.
ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා මෙම නීතිවිරෝධි වැලි කැණිම් නතර කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කර තිබියදී රාසමානික්කම් මන්ත්‍රීවරයා කිසිදු සොයා බැලීමකින් තොරව ඒ සදහා ක්‍රියාමාර්ග නොගත් බව සදහන් කරමින් නගන චෝදනා පදනම් විරහිත බවද ආණ්ඩුකාරවරිය කීවාය.
මෙවැනි අනවසර වැළි කැණිම් සදහා තමන් උදව් උපකාර කරන බවට රාසමානික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙමින් සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

