(සුජිත් හේවාජුලිගේ )
දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ දේහයට අවසාන ගෞරව දැක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා සංඝරත්නය, දේශපාලන නායකයෝ විවිධ ක්ෂේත්‍රවල පිරිස් සහ ජනතාව උන්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති රාජගිරිය කලපළුවාව තපෝවන විහාරස්ථානයට වැල නොකැඩී පැමිණෙමින් සිටිති.
එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දැරුවේද චන්ද්‍රසිරි නාහිමියන්ය.
දොඩම්පහල චන්දසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන ලබන 21 වැනිදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ.
ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු පස්වරු 3:00 ට ආරම්භ කරන බව බුද්ධශාසන හා ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
ත්‍රයි නිකායන් සමග එක්ව ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ චන්දසිරි නාහිමියන්ගේ අපවත්වීම සසුනට මහත් පාඩුවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියෝ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.
දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නායක හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 16 වැනිදා අපවත් වූහ. අපවත් වන විට උන් වහන්සේ 84 වැනි වියේ පසුවූහ.

