නව සුරාබදු පනතට අනුමැතිය


(ඩයනා උදයංගනී)

නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන සුරාබදු ආඥා පනත හඳුන්වා දී ඇත්තේ 1912දී ය.

එය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට මේ අනුව කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කළේය.

අදාළ යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර ඒ අනුව එකී කාරනාව සඳහා නීති පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද ඇමතිවරයා කීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.