නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි ඇතුන් නඩත්තුව හැකි අයට දෙන්න යයි


(අජන්ත කුමාර අගලකඩ)

අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි ඇතුන්, නඩත්තු කිරිමට හැකියාව ඇති පුද්ගලයන්ට හා විහාරස්ථානවලට ලබාදී දැනට පවරා ඇති නඩු කටයුතු අවසන් කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇත.

ඉකුත් රජය සමයේ අලි ඇතුන් 35 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස විවිධ ස්ථානවල රඳවා තබාගෙන සිටින අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ නඩු 35 ක් සමඟ පවරනු ලැබ ඇත.

මෙම අලි ඇතුන් 35 දෙනා පින්නවල අලි අනාථාගාරයේ සහ උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර, උන් රැක බලා  ගැනීම සඳහා ජාතික  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හා වනජීවි සංකරක්ෂණ දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් 251,000 ක් පමණ වැය කරන්නට සිදුව ඇතැයි පරිසර හා වනජිවි සම්පත් ඇමැති එස්.එම්.චන්ද්‍රසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මෙම අලි ඇතුන් පිරිස නඩත්තු කිරිමට යන වියදම දැරිය නොහැකි බැවින් හා පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් උන් හැකි ඉක්මණින් නිදහස් කළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් පෙන්වා දී ඇත.

මෙම අලි ඇතුන් නඩත්තු කිරිමට හැකියාව ඇති පුද්ගලයන්ට හා විහාරස්ථානවලට දී දැනට ඒ සම්බන්ධයෙන් පවරා ඇති නඩු සමථයකට පත්කර ගැනීමට නිතිපති උපදෙස් ඉල්ලා ඇතැයි ද ඇමැතිවරයා දැනුම් දී ඇත.