නගරසභා කම්කරුවෝ ලක්ෂ 23ක ටයර් උස්සලා


(කේ. බුද්ධික කුමාරසිරි)

කඩුවෙල මහ නගර සභාවේ අතුරුගිරිය වල්ගම දිස්ත්‍රික් කාර්යාල ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල එම කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ සේවකයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

එම උප කාර්යාල ගබඩාවේ තිබූ ටයර් 34 ක ප්‍රමාණයක් නොවැම්බර් මස 27 ත් දෙසැම්බර් 03 දිනත් අතර කිසිවකු  සොරාගෙන ගොස් ඇති බවට වල්ගම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිළධාරී විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ එම දිස්ත්‍රික් කාර්යාලයේ සෞඛ්‍ය කම්කරුවන් තිදෙනෙකි. 

මේ අතුරින් වයස අවුරුදු 41 සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට හුරු වී ඇති බැවින් එම මත්ද්‍රව්‍ය පානය සදහා අනෙත් දෙදෙනාගේද සහය ඇතිව මෙම සොරකම් සිදු කර ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.