ධීවර අයිතීන් කඩන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ


(අංජුල මහික වීරරත්න)

ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

සිය කර්මාන්තය කරගෙන යාමේදී රට පුරා ධීවර ජනතාව මුහුණදී සිටින ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට  මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා සථීර විසඳුමකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් පසු ඉදිරියට ක්‍රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම ධීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මේ වන විට ධීවරයන් 12,000ක් පමණ ධීවර කටයුතුවල නිරත විය නොහැකිව පීඩාවට පත්ව සිටින බව අනාවරණය කෙරිණි.

ගංවතුරට හසු නොවුණද අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත විය නොහැකිව ජීවනෝපායමාර්ග අහිමි වී සිටින ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර පාර්සල් ලබා දීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එමෙන්ම චීන රජයෙන් මෙරටට ලැබී ඇති දැල් ආම්පන්න තොගය ආපදාවට පත් වූ ධීවර ජනතාව වෙනුවෙන් ලබා දීමට චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කිරීමටද මෙහිදී අවධානය යොමු විය.